Monday, January 30, 2017

තනිකඩයාගේ කවිය




කුල මල මිළ මුදල් දේපල  ජාති බේද අතරේ තනිවන යව්වනය




නොනිදි රැය දිගු වුවත් 
සඳ එළිය හරි කළුවරයි
අමාවක අත වනයි 

පෝය නික්මෙන හැඩයි

 දුරුත්තේමල් සුවඳ

 මගෙ පැලට අකැපමයි
ප්‍රේමයේ හව්හරණ 
කාසි ළඟ රැකවලයි

කල්පයක් වූ හීන 
හීනයට ඉඟිමරයි
නියංසායට දැවුණු 

ඉපල් මදහස පුරයි

එකම පරපුරක උරුම 

මේ කඳුළු උණුහුමයි
දුරුතු මහ හීතලයි 

තනිකමට සරදමයි

තරු එළිය මඟ නොකී 
යෞවනය තනිකඩයි
ගුරුපාට අතීතය 

මදහසට විරසකයි

පුර හඳට පෙම් පිරුව 

හදවතට දුක බරයි
කවි හිතම ගැබ්බරයි 

පත් ඉරුව තනිකඩයි




















Friday, January 20, 2017

සොයයි නුඹ ( ඉකිගසන තාරුණ්‍ය)





දෙතොල හරහා
ඇඟිලි තුඩගින්
අඳිමි මතකෙන් 
සිනහ සලකුණු

දෙනෙත ගැඹරෙහි
කිමිද මොහොතක්
සොයා යන්නෙමි
මතක විසිතුරු

අවුල් කෙහෙරැළි
අතර පැටලී
සුළං රැළි වෙමි 
සිඹින නිරතුරු

රුවක නතරව
අතරමං වෙමි
සිහිනයක් වී 
හෙටත් එනතුරු

බිඳෙන් බිඳ නුඹ ගෙනත්
මගේ හිතට ගොඩගහන
මේ සිනා ළවැලි ගෙන 
මාළිගා තනමි මම 

සයුරු තෙර කළඹමින්
රුදුරු රළ නැඟෙන ඉම
නොතනන්න මාළිගා
උගෙනගමි ඉතින් මම





Tuesday, January 17, 2017

වියපත් සිතුවිලි වියපත් බිරියකගෙන්












අපට වැඩියෙන් සීරුවට ගොම්මනේ අඳුර
වෙළාගෙන අප දෑත නිසොල්මන් අවරට ම
සනහමින් සියොළඟම පුරුදු පිල්කඩ හිඳින
හැරමිටිය දන්නවයැ අප දුටුව පෙම් හීන

ඉරිතැලුණු දිවි ගඟේ පතුල හොරැහින් බලා
නොදරු දරු අප තුරුණු වෙස් රැගෙන ඉගිලුණා
මඳින් මඳ නිවෙන තරු අඩ එළිය ඇතිරෙනා
ගිලී ගිය ඇස්වලින් පෙනේ ඉස්සර දසුන්

තුඩලමින් පෙම් අමා පැන් පොදක් මඳහසින
අදර වියමන් බඳින විහඟ නෙත් නිදිබරය
මස් වැදලි එකිනෙකට ඇලුණු නුඹෙ පුළුලුරේ
තබන්නද හිමි සඳුනි, ම හිස සෙනෙහෙන් බරවු



Wednesday, January 11, 2017

නෙතු කදුළැලි නුඹට කී කවි





සිරි සිරි නදින් සීතල පිනි වැගිරෙනවා
මල් මී පිරීලා බමරුන් කැඳවනවා
මුදු මඳ පවන් වැද හිරිගඩු නැංවෙනවා
“නුඹ නැති දුකට නෙත කඳුලැලි වැගිරෙනවා”


මීමැසි රංචු ඇයි මල් වෙත ඉගිලෙන්නේ
ගංගා ගලා කිම සමුදුරටම යන්නේ
විහඟුන් මොට ද? රස ගීවැල් මුමුනන්නේ
“මගෙ සිත කුමට නුඹ සොයමින් ළතවන්නේ”


හතිලන සිතට ඉකිලන සුසුමක් ඇතිව
දසඅත ඉගිල්ලෙන සිතුවිල්ලට නතුව
“කොඳුරන අතීතය සිහිකර රස මුසුව
වැලපෙමි කඳුළු නොහෙලා මා අන් සතුව