දවස තිස්සේ හැලුණු
මහා වැස්සෙන් පසුව
අන්තිමම වැහි බිඳත්
පැද්දෙමිනි,මලක් අග
"හෙට අරුණ හිරු කිරණ
හාදුවක සැඟවෙමිද..?
ගලන බොර දිය පහර
කිමිද පිහිනා යමිද..?"
සැනෙන් සසැලෙන දෙනෙත් රවටන
වළා සිතියම ඇඳෙයි නුබ තල
බලා සිටියොත් කඳුළු එන තුරු
කියාවිද මට නුඹ හිඳින තැන?
රහස් නොකියන සීත පොරවන
සුළං රැළි මේ හමයි හැම අත
සඟවා ගතහොත් දෑත එක්කර
කියාවිද නුඹ යළිත් එන දින?
ආදරෙයි නොකියන
හිතේ මැද උණුහුම් වෙන
පෙර පුරුදු සුවඳින
දිවිය පුරවා සැඟවෙන
මතකය මිස සැමරුම් නැති
පැතුමන් මිස සලකුණු නැති
නෙත පතුලත දිලිසුම මිස
නුඹ ගත් ඉඩ ලොව දන්නැති