Thursday, February 18, 2016

පලා යෑම







කිරි ළමැදෙ හිස රදා
සුව වින්ද දියණියේ
කිරි වැරුව දා දෙතනේ
සිත තැළුව දියණියේ

තන කිරෙන් බරවෙලා හිත පැතුම් පූරෝගන
මං පැතුවෙ නුඹවමයි කිසිත් නොව ජීවිතයෙ
මහ අසනි වරුසාවේ ඇස් දෙකේ සීතලට
නුඹ උපන්නේ මටයි මලක් වී මගෙ හිතට

පෙළින් පෙළ ගෙවල් පෙළේ
රැලින් රැල ළමයි රැලේ
කටු අකුලෙ මලක් වී
පිපුණ නුඹ සුවඳ දුනි...

මල්වරව යෞවනය සිනාසුණ හිමිදිරියේ
මවු සෙනේ අඩු වුණිද වසන්තයෙ ඔය හිතට
රන් පාට සමනල්ළු දැක සිනාසුණ දෑසේ
මල් සුවඳ ගෙන ගියේ කොහිද නුඹ දුර ඈත

ගංගාව හඬ නඟා ගලද්දි නිම්නයේ
නුඹට එය ඇසුණිදෝ ගීතයක් වී මියුරු
උලලේන් හඬ හිතේ බිය රදවද්දි
නුඹට එය පෙම් කවක් වූවාද...?

පන් පැදුර චීත්තය සුවඳ නුඹෙ සොරාගෙන
ගන්න හැකි වේවිදෝ මට ද ඉන් ටිකක්
දෑස සේ රැකි නුඹයි අහස සේ හැඬු මමයි
ජීවිතේ තනිකමයි - මට උරුම හිමිකමයි