Wednesday, November 4, 2015

නුඹ කොහේ හිටියත්



හවස් වරුවේ
ගහක් යට ඈඳිගෙන ඉන්න කොට
ඈත අහසේ මුව පුරා
රාස්සිගේ හිනාව ඉහිරෙනවා දකිනවා ඇති.
කුරුල්ලන් ගී ගයා
පියාඹා කඳු වළල්ලට උඩින් යන කොට
මලක් ගෙල දිගු කර
නටුවෙන් එබෙනවා පේනවා ඇති.
දේදුන්නක් නැමී
වැව් දියේ ළය අතගානවා
දැනෙනවා ඇති.
දෙපා මුල දැවටෙන
මද පවන
යාන්තමට අත්තටු සලන හඬ
ඇහෙනවා ඇති.
ගල්පරයක් උඩ වාඩිවෙලා
ඔහේ තනි ව ම ඉන්න කොට
මහ මුහුදෙ ගොළු මාළුවෙක් ඉන්නවා දකිනවා ඇති.
කොහේ හිටියත් නුඹට
සැබෑවටම මං ගැන
මොකක් හරි හිතෙනවා ඇති

‎කිරි අත්තා





බුදුන් වඳින කොට
මල් වට්ටියක් වගේ හැමදාම
මතක් වෙයි.

බුලත් කොරටුවක් වගේ
තවමත් සිහිලසයි.

වංගෙඩියේ
විටක් කොටන කොට
නාඩි වැටෙන හඬ ඈතට ම ඇහෙයි.

හවසට
අත පුරා කිරි පැණි අරගෙන
ගෙදරට ගොඩවෙයි.
ආකාස කඩදාසියේ
වටකුරුවට රන් පිඟාන අඳියි.
හා පැටියා විතරක් නෙවෙයි
ඒ මැද්දෙ
අපි හැමෝමත් හිඳියි.

උදයේ ම 
ඉතිරී යන වැවක් වෙලා
අපේ මුහුණු සෝදයි. 
අඩිපාර දිගට ම
නුග ගස් යායක් වෙලා
ඉස්කෝලෙ යන බටිති පැටවුන්ට
අත්දෙකෙන් පවන් සලයි.

දහවලට
පැණි දොඩම් ගසක් වෙලා
නංගිටයි මටයි
ගෙඩි සේරම දෙයි.

බාලාංශ පන්තිය වගේ
ඔඩොක්කුවේ තුරුළු කරගෙන රෑට
හෝඩි පොතේ අකුරු
අහසින් නෙළා දෙයි.

ඉඩෝරෙ දා දවසක්
අඳ කුඹුරේ හැම තැනකම
ණය තුරුස් වංගෙඩි කකුල් තිබුණා.
කිරි ඇත්තා
නුඹ ඒ මැද වැතිරී සිටියා
පපුව පැළී
මහවැලි ගංගාව ම ගැලුවා දැක්කා.
ඒ ගඟේ ඈතට ම
කිරි මුට්ටිය පා වුණා.
ඊට උඩින්
කොක්කු විතරක් ඉගිළුණා.