Tuesday, April 12, 2016

එරබදු මල් පොකුරු ළඟ





කෙවිලිය සමඟ පැමිණුන
කොවුලා ඇටඹ ගහ උඩ
සවන් දෝතට විසි කළ
මියැසිය පරදවයි
මිහිරි ම මිහිරි මී රස

කිරිගහ උඩින් මතුවුණ
පෙරදින රැයේ බක්සඳ
රුක්ගස් පුරා ඇති රුව
කිරණ අමතක කොට ගොස්
නව සෙඳරියක් හැමතැන

අලුත් වතුරෙන් උතුරන
ඇළ දොළ ගඟුල් වට කොට
අලුත් දලුසළු ඇඳ
මල් පල බරණ පලඳා
තුරු ගොමු පවා තුටු වෙයි

මිහිරි පල වළඳා
විහඟුන් කියන රසකවි
බක්මහ අසිරි සිරි ගැන
මල්වල ලියති බිඟු කැල
ළාහිරු කිරණ දුවවිත්
පිනි පිස දමන උදයෙ ම
මගෙ සිත නතර වෙයි
එරබදු මල් පොකුරු ළඟ