Thursday, January 28, 2016

පරිසරවේදිනියගේ මංගල හීනය..




දිය රෙද්දක් හැඳ එන්නම්
නුඹ අමුඩය ගහන් වරෙන්
කුඹුක් ගහේ මඳට ගොහින්
මුද්ද මාරු කරමු ඉතින්...

පෝරු කුමට - තරු හෝටල
අර ගල්තල - ගඟ පාමුල
නැඟ පටකින් දෑඟිලි බැඳ
තුරුලු ව පළවමු හීතල...

මාලු රෑන් මඟුල් කියපු
කුරුලු රෑන් වටේ වහපු
උන් ය අපේ අමුතු පිරිස
අපි බඳිනා බව පවසපු

අත්සන් නොකළාට පොතක
ගිවිසුම ඇති නොවැ දෙහිතක
පලතුරු ගහ වට ඇති නෙක
වෙයි මංගල භෝජනයෙක

සංගීතය කුරුල්ලන්නෙ
කතා වඳුරු මහල්ලන්නෙ
ගිරා යුවතියන් ඇවිදින්
ජයමංගල ගී ගයන්නෙ

ඉන්නකො තුරු සඳ පායන
මධු සමයට මග පාදන
ලවැලි තලය ගඟ සෝදන
අඳුර වටේ තිර සාදන