Saturday, February 27, 2016

තාප්පයක, දුක හිතෙන කතාවක්




මල් වැටුණ
ඉරි වැටුණ
පාට පාට
නෙක විසිතුරු ඇඳුම්
මාරුවෙයි
දිනකට හත් අට වතාවක්
ඇනකොටා ගනිමින්
එකිනෙකා
වසාලයි මගේ විළි
විටෙක එළු, ගව යහළු
සිපගතියි මගේ වත
ඇති ව තෙත් සිත
පාලු රාත්‍රියේ
බිඳලමින් මගේ විළි
ඒත් අලුයම වසාලනු ඇත
මගේ ගත
අලුත් ඇඳුම් වලින්


Tuesday, February 23, 2016

දැහැමි ජීවිතය හා ආගම-නිසදැස්,





උපන්දා සිට කරපු අකුසල්
දුරුව යන්නට මොහොතකින්...
තුන්සිය හැටපස් දොහකින්
එක් දිනක්...
දැහැන් ගත වමු
..

පුන්සඳ පිපී දිලෙද්දී
නිසංසල අහස්තලේ....
රන්වන් බෝපත් සිලි සිලි නාදෙන්
සෙලවන මොහොතක
සිතකට දැනුනයි
සහන් සුවේ...

දුරුකතරේ මංමුලා වී
යන මේ ගමනේ
නැවතුම කොතැනද
නොදන්න අපහට
වදාළ බුදුමඟ කියාපාන
ජීවමාන බුදු පුතුනේ


සිතගත සිසිලයි
සුමුදුයි සරලයි
දිවියට මාගේ...
වැටහෙයි හේතුව
තුන්සිත දමනය කළ
එක් මොහොතක....

සත්‍ය වැටහී
යන මඟ හෙළිවී
ඇත සසරේ...
දොහොත් මුදුන් දී
බැතිබර මනසින්
එකුන් සියක් නොව, සියක් වරක්
දැහැන් වදිමි මම...



Sunday, February 21, 2016

යෙහෙළියට ඔවදනක්



 

කඳුළු ගීතයකට
තනුවක් නොවී නුඹ
සෙනෙහෙබර කවි පෙළක
පදවැලක් වුව මැනව
කළුවර වූ විජිතයක
අමාවක නොවී නුඹ
සොඳුරු මඟ දිදුලවන
සරා සඳ වුව මැනව
සුවිසල් මන්දිරයක
සෙව්වන්දියක නොවී නුඹ
පුංචි නිවහනකට
සිතුමිණි පහනක් වුව මැනව
මිරිඟුවට ලුහුබඳින
මුවැත්තියක නොවී නුඹ
ගුණ නුවණ දියුණු කළ
නැණ පහන වුව මැනව....




Thursday, February 18, 2016

පලා යෑම







කිරි ළමැදෙ හිස රදා
සුව වින්ද දියණියේ
කිරි වැරුව දා දෙතනේ
සිත තැළුව දියණියේ

තන කිරෙන් බරවෙලා හිත පැතුම් පූරෝගන
මං පැතුවෙ නුඹවමයි කිසිත් නොව ජීවිතයෙ
මහ අසනි වරුසාවේ ඇස් දෙකේ සීතලට
නුඹ උපන්නේ මටයි මලක් වී මගෙ හිතට

පෙළින් පෙළ ගෙවල් පෙළේ
රැලින් රැල ළමයි රැලේ
කටු අකුලෙ මලක් වී
පිපුණ නුඹ සුවඳ දුනි...

මල්වරව යෞවනය සිනාසුණ හිමිදිරියේ
මවු සෙනේ අඩු වුණිද වසන්තයෙ ඔය හිතට
රන් පාට සමනල්ළු දැක සිනාසුණ දෑසේ
මල් සුවඳ ගෙන ගියේ කොහිද නුඹ දුර ඈත

ගංගාව හඬ නඟා ගලද්දි නිම්නයේ
නුඹට එය ඇසුණිදෝ ගීතයක් වී මියුරු
උලලේන් හඬ හිතේ බිය රදවද්දි
නුඹට එය පෙම් කවක් වූවාද...?

පන් පැදුර චීත්තය සුවඳ නුඹෙ සොරාගෙන
ගන්න හැකි වේවිදෝ මට ද ඉන් ටිකක්
දෑස සේ රැකි නුඹයි අහස සේ හැඬු මමයි
ජීවිතේ තනිකමයි - මට උරුම හිමිකමයි




Wednesday, February 17, 2016

පරලොවට පෙම්පතක්


                                                               




                                                               මා මෙලොව තනිකර
අවුරුදු ගණනකට පෙර
පරලොව ගිය දයාබර
මගේ අනුලා වෙතට ය

මම 56 වන
විය ගෙවමින් සිටිමි දැන්
එනමුත් ඔහි එන ලකුණු
තවමත් පහළ වී නැත

අපේ ඒ කාලය
සමඟ සසඳා දක්වමි
දැන් මේ කාලයේ මෙහි
ඇති යම් යම් වෙනස්කම්

තරුණන් තරුණියන්
අතර පෙම්පත් ගනුදෙනු
කෙරුණු ඒ කාලයෙහිදි
රස පෙම්කවි ලියැවුණා

ලේඛන කලාවට
හා කවි කලාවට ඉන්
නැඹුරුවක් ඒ කාලේ
ලැබුණා නේද අපටත්?

දැන් අතේ ගෙනයන
දුරකථන පැතිරී ඇත
පෙම්කවි සහිත පෙම්පත්
එ නිසා වුවමනා නැත

යම්කිසි හානියක්
කවි කලාවට මෙ මඟින්
සිදුවී තිබෙනා බවක්
බැලු බැල්මට පෙනුණත්

ජංගම දුරකථන
පෙම් සංවාද ඔස්සේ
සිරි හර රස කවි දහර
ගලා යනවා විය හැක

නව තාක්ෂණයේ
දියුණුව එසේ තිබියදී
මේ පෙම් හසුන ලියුවේ
මා ඉස්සර පුරුද්දට

දැන් මේ පෙම් හසුන
මෙසේ එව්වේ වී මුත්
අපිත් කතා කර ගනිමු
ජංගම දුරකථනයෙන්

අපෙ ඒ සංවාද
තැටිගත කරගත හැකියි
නිෂ්පාදනය කළ හැක
එ මඟින් සාහිත්‍ය රස

මෙතෙකින් මේ ලියුම
දැනට අවසන් කරනෙමි
තව බොහෝ දේ කිව හැක
මා ඔහි සැපැත්වූ පසු



Friday, February 12, 2016

පෙම්පත






තුරු සෙවණ යට ඉඳන්
හුදෙකලා වී මෙසේ
කියවන්නේ “පැවරුමක්”
වෙන්න බෑ දියණියේ...

මල් සුවඳ රැගෙන එන
නිල් ගුවනේ සැරිසරන
පාට සරුංගලයක් වගේ
මුතු අකුරු ඇඳි පෙම්පතක් - දෝ
දියණියේ...?

සමාවුව මැනවි මට
දිසාපාමොක් ඇදුරු තුමනේ
සත් වසරකට පසු
වැලිකතර හැරදා
මගේ මුව සිපගන්න
අම්මා එනවා ගම... රට...
කියා තිබෙනවා
මගේ මේ පෙම්පතේ...!




Tuesday, February 9, 2016

සෝක ගී







මීදුම් පටල වලා සේලය
නිරුවත්ව ඇත සද ගාව
පාළු රෑ යහන ලග
අඩ නින්දෙ සරදම්ව
අඩහෝරාවක
අතීතේ මතකයන්
හිත ගාව තුරුල්වම ඉකිබිදින සද
නිකලැල්වූ සුදුම සුදු පාටින් බැබලුන පට රෙද්ද 
මිලින කලේ කෙලෙසකද
බැදි හාදකම
මියුරු කවි කියා
ගෙව්න මහ රෑක
හිතාගන්නත් බැරි තරම්
සෝක ගී ඇසේවිය කියා
හීනෙකින්වත් නොහිතු එක 
මා කල වරදද??
........................




Saturday, February 6, 2016

සනාතන පාඩමක්







‘අ’ යන්නෙන් අම්මා
‘ආ’ යනු ව ආදරය
දුක සතුට හොඳ නොහොඳ
සොයා දී මඟ නොමඟ
විසල් වූ ලෝකයක්
තනා දුන්නා අපට!



රන් සීනු පරදවන
ඔබේ නැළවිලි හඬින්
අප මෙන්ම දරුවන් ද
සැනසුවා පෙර දිනෙක



දයා මුදු කරුණාව
හදවතේ පුරෝගෙන
ජීවිතේ ජය ගන්න
දිරිය දුන්නා නිබඳ

ශිල්ප දුන් දූ පුතුන්
ගිලන් ඇඳ වට කරන්
දෙන ඔසුද හෙදකම් ද
ඉවසමින් මුනිවතින්
සසර ගැන පාඩමක්
කියා දෙයි මවු යළිත්!



Thursday, February 4, 2016

සෙබළ සේනා නිදහස





ලංකාද්වීපයේ ජනී ජනයාද,
මැති ඇමති ගරුතර උතුමන්ද,
දිනූ නිදහස සමරනුයැයි සිතා
ගෝල්ෆේස් පිටියේ රැස්කනු දුටිමි...
සකල සන්නාහ සන්නද්ධ අවි පෙරටුව
තුන්විධ හමුදාවෝ කඩුකස්තාන අතැතිව
පෙරහැරේ ගමන් කරනු දුටිමි...
අනන්ත සයුර දෙපලු කරමින්ද
නිල් අහස ගිනියම් කරමින්ද
යානවෝ අබිමන් පානු දුටිමි...
දෑත් දෙපා සිදුනු සෙබලෙකු
රෝද පුටුවක් මත හිද
තම හිසට ඉහලින් ගගන යානාවෝ අහස විනිවිදින හැටිත්,
බරකර දෙපා තබමින් විකුම් ගමන් යන
සෙබළ සේනා දෙසත් බලා හිදිනු\




Tuesday, February 2, 2016

තනිකඩයාගේ කවිය



නොනිදි රැය දිගු වුවත් සඳ එළිය හරි කළුවරයි
අමාවක අත වනයි පෝය නික්මෙන හැඩයි
දුරුත්තේ මල් සුවඳ මගෙ පැලට අකැපමයි
ප්‍රේමයේ හව්හරණ කාසි ළඟ රැකවලයි

බඹර කුලයේ හීන හීන යට ඉඟිමරයි
නියංසායට දැවුණු ඉපල් මදහස පුරයි
එකම රැහැකට උරුම මේ කඳුළු උණුහුමයි
දුරුතු මහ හීතලයි තනිකමට සරදමයි

තරු එළිය මඟ නොකී යෞවනය තනිකඩයි
ගුරුපාට අතීතය මදහසට විරසකයි
පුර හඳට පෙම් පිරුව හදවතට දුක බරයි

කවි හිතම ගැබ්බරයි පත් ඉරුව තනිකඩයි