Saturday, January 30, 2016

මුකුලු







බිගුන් ගුම්දෙන මලක් අද්දර
මලත් කම් නෑ කියා පෙම් කර
මුකුලු කෙරුවේ පෙමින් බැද සිත
සිතට සිත ආදරෙන් ලන්වී




පෙම් පුරාවත ලියන මහ රෑ
එකම එක වරක් අමතකව පද
හීන් පද වැල් හිමින් වැගුරුනි සීරුවෙන්
ගිලිහුන දා පට සරම කොනෙන්


තවත් කාලයක් පෙරුම් පුරන්නද?
නොකියු ඒ කවි පද මුමුනවන්නට
මේ තරම් දුර ඇවිත් හිත් බැද
එකට එක නොගෑවුන දෙතොල් මත

Thursday, January 28, 2016

පරිසරවේදිනියගේ මංගල හීනය..




දිය රෙද්දක් හැඳ එන්නම්
නුඹ අමුඩය ගහන් වරෙන්
කුඹුක් ගහේ මඳට ගොහින්
මුද්ද මාරු කරමු ඉතින්...

පෝරු කුමට - තරු හෝටල
අර ගල්තල - ගඟ පාමුල
නැඟ පටකින් දෑඟිලි බැඳ
තුරුලු ව පළවමු හීතල...

මාලු රෑන් මඟුල් කියපු
කුරුලු රෑන් වටේ වහපු
උන් ය අපේ අමුතු පිරිස
අපි බඳිනා බව පවසපු

අත්සන් නොකළාට පොතක
ගිවිසුම ඇති නොවැ දෙහිතක
පලතුරු ගහ වට ඇති නෙක
වෙයි මංගල භෝජනයෙක

සංගීතය කුරුල්ලන්නෙ
කතා වඳුරු මහල්ලන්නෙ
ගිරා යුවතියන් ඇවිදින්
ජයමංගල ගී ගයන්නෙ

ඉන්නකො තුරු සඳ පායන
මධු සමයට මග පාදන
ලවැලි තලය ගඟ සෝදන
අඳුර වටේ තිර සාදන




Sunday, January 24, 2016

වඩිනු මැන බුදු සමිඳුනේ




භවේ පාරමි දම් පුරා
සසර බැමි සිඳ බිඳ දමා
දම් අමා පැන් ලොව ඉසින්නට
ජනිත වූ බුදු සමිඳුනේ

කෙලෙස් බැම්මෙන් එතෙර කරනට
කුසල් සිත් තුළ වඩාලන්නට
ලොව අමා සිසිලස බෙදන්නට
හැකිද මගෙ බුදු සමිඳුනේ

සැප ම පසුපස නිතර දිවයන
මිනිස් සිත් දැහැමින් වෙළන්නට
දම් අමා මුනිපද දෙසන්නට
වේවි යළි බුදු සමිඳුනේ

අමිල බුදු ගුණ සිහිකරන්නට
සාදු නද ලොව පැතිර යන්නට
නිවන් මඟ යළි කියා දෙන්නට
වඩිනු මැන බුදු සමිඳුනේ



Friday, January 22, 2016

”සෙනේහයේ මතකය”

සිතට හොරා ඔබ ඇවිදින්
ඉඟි කරනා ඇසිල්ලේ
අතීතයට සිත යනවා
මටත් හොරා නිදැල්ලේ

කඳුළු බිංදුවක් ඇවිදින්
නෙතු අග හුදෙකලාවේ
මා හදවත පාරනවා
නෙතු පියනා ඇසිල්ලේ

අපට අප අයිති නොවනා
ලෝකෙක හුදෙකලාවේ
හදවත සිර කර ඉන්නම්
මතකය නුඹෙ සෙනේහේ

Monday, January 18, 2016

බිදුනු හැඩ සහ රුව



මගේ හද
රිදෙන විට
නුඹේ හද රිදුණාද
මා නඟන
විරහ හඬ
දෙසවනට
ඇසුණා ද
නො ඇසුවත්
නුඹේ හඬ
නොදුටුවත්
නුඹේ රුව
බිදුනු පෙම
මෝරමින්
ලැඟුම් ගෙන
මා හදේ
රැඳී ඇත
නුඹේ රුව
රැඳී ඇත
නුඹේ හඬ



Saturday, January 16, 2016

පැරදුම




අප හමු වූ තැන්වල සිට
හිරිහැර කරනා මතකය
වසාලන්න තැනුණ පවුර
මගේ නෙතේ දුක් කඳුළද?

අප නිතරම හමු වූ තැන
නොමියෙන සුවඳේ මතකය
නසාලන්න සැදුණ සුළඟ
මගේ හදේ දුක් සුසුම ද?

නුඹ තෙපලූ මුදු වදනක
රාවය නැත තනි රකිනට
මග බලමින් සිටි හදකට
පාර වැරදුණේ කෙලෙසද?



Wednesday, January 13, 2016

මනාලියක් නොවූ ගැහැනිය





අද නොවේ හෙට කියා දොරේ ලියලා තැබූ
බාලගිරි දොස ඇතේ ඉවර වී කල් පැමිණ
හද කවුළු දොරමතින් ලියන්නට සිදු ව ඇත
අද නොවේ හෙට කියා බලාපොරොත්තුව...

තාන් රෙදි සුවඳකින් අලුත් වූ යෞවනය
කල් පිරුණ කෙස් ගසින් ජීවිතේ ගැන කියයි
මුතු පබළු ඇහැ කඳුළු මාලයක් වී කරට
ජීවිතේ හෙට දිනට අලුත් පැතුමක් පූරයි...

අවාරේ මල් පිපුණ ඇහැළ ගහ ඉකිබිඳින
අහස යට හිනැහෙනවා ඔච්චමින් මල් කිණිති
පමාවී මඟ වැරදි ආ සමනල රංචුවකගේ
ස්වයං වරයයි පෙති සිඳුන මල් කුමරිට...

ඇසෙන් ඇසට හිතෙන් හිතට පැතුමන් පිරුවයි
ලතා මඩුලු යටදවසක සිනාව බිඳුණයි
මාල පබළු කරෙන් වැටි දෙපතුල සිම්බයි
ඇදවුණු හෙවණැල්ල ළඟදි දීගය ඇරුණයි..

Saturday, January 9, 2016

සසර සරනා තුරු ම...



නෙතු හඬන හැමවිට ම
පිසදමා නෙතු කඳුළ
සිනහවෙන මොහොතකට
මඟ කියූ සෙනෙහෙරුව

වසන්තය ගෙන එනා
මගෙ දිවියෙ ගී තනුව
හද ගැහෙන රාවයට
නුඹයි පණ පෙව් මිහිර

දිය සිඳී ගිලන්වන
කුරිරු ගිම්හාන සමය
නොසිඳෙනා සෙනෙහෙ දිය
උල්පතය මවුනි නුඹ

මට නුහුරු දිවි මඟක
පාර කියූ සඳ කිරණ
නුඹයි මා මවු රැජන
සසර සරනා තුරු ම..


Wednesday, January 6, 2016

මගෙ හිතට බරක් නැත





අද උඹට මහන්සිද
වතුර පොදකුත් දේද
හිතේ බර මට දියන්
ආදරෙන් කියනවද
කොහේවත් නුඹ නොයන්
මගෙ හිතට බරක් නැත

හැම ආත්මෙ ම ඉමුද
මේ ටිකත් දුර වැඩිද
මමයි නුඹ – නුඹයි මම
වෙන දිනය ළඟක නම්
මගේ ළඟ නුඹ හිඳින්
මගෙ හිතට බරක් නැත

අහස වැටුණා වගේ
මහ බරක් මගේ හිසට
කණට ගැහුවා වගේ
නුඹේ වදන් අතුල් සැර
නුඹ කොහේ ගියත්
මගෙ හිතට බරක් නැත



නික්ම යාම





නික්ම යන මොහොත
එළඹ ඇති
දියණියේ
ඉතින් කිසිදින
කඳුළක් නොහෙලන්න.
අප තුරුලේ
සැමදා ඔබට
ඉන්නට නොහැකිය.
විසල් ලෝකය
නුඹ එනතෙක් බලා සිටී.
අප වැනි ම වූ
තවත් මා පිය යුවළක්
නුඹට හිමි වනු ඇත.
එහෙත්
අප දෙදෙන මෙන්
ඔවුන් නුඹට
ආදරය නොකරන්නේ යැයි
වේදනා නොනගන්න.
නොතැලෙන යකඩය
කිසිදා
මුවහත් ද නොවේ.
පුංචි මල් කුමරියේ
මවුපියන් වීම නම්
මෙලොව ඇති 
ලොකු ම අරුමයයි.
උතුරා යන සෙනෙහස
නුඹට මිස
අන් කිසිවකුට
ඒ අයුරින් ම
දීමට
නොහැකියි.










Tuesday, January 5, 2016

සතුට නුබ කොහෙ



රැයේ සිට නිදි වරා ටිකෙන් ටික අමුණලා වචන ටික ගලපලා ගෙත්තමක් මන් කලා උදේ සිට මග බලා සිටියේ මන් එන තුරා ඔබේ මුව මට කියන දහස් දේ අසනටා ආදරය විදිමි මම මහා මෙරක් සේ ඔබෙන් නමුදු කල්පිත දෙයක් ගැලපුවෙමි මන් මෙසේ සිව්මහ නදී මහ මුහුදට ගලන වැනි එකදා නියන් මහා වැස්සෙන් මැකෙන වැනි යුගදුරු පව්ව පිසදා නල හමන වැනි ඔබ වෙනුවෙන් ගලනා පෙම දරනු බැරි


Sunday, January 3, 2016

███▓නුඹයි මඟ තොටදී හමුවන ███▓▒░



පතුල නැති හීනයක කිමිදෙන
ගැලූ කඳුලින් මාල ගොතමින
සතුට දෝතකට රැගෙන හිනැහෙන
පය පැකිලී විට සෙමෙන් නැගිටින

දිවි පුරා කටු අකුල් සිඹිමින
අහම්බෙන් මල් පොඩිති හමුවෙන
දෑත නොව හදවතම සීරුන
ගැලූ රුහිරෙන් කවිත් පබඳින

හදවතේ ගැඹුරු තැන කළඹන
සෙනෙහසක මිමිණුමට කන්දෙන
දුර තියා සුසුම් හඬ හඳුනන
මම නුඹයි මඟ තොටදී හමුවන


Friday, January 1, 2016

නව අවුරුදු පැතුම





සඳ නොපෑයූ
අමාවක අහසේ
දහස් ගණනින්
පෑව්වත් තරු,
ඔබ ලෙසේ
ආලෝකෙ දිය හැකි
සිකුරු තරුවක්
නොමැත අහසට

නිවී දැල්වෙන

වෙනස්වන තරු
දකින මා නෙතු
ලබන වියරුව,
නොනිමි බබළන
තාරකාවක
එපා නිවී එය
මට දනවන්නට


ඔබෙත්, මාගෙත්
දුරස් බව බිඳ
පුංචි තරු කැට
එකතු කරගෙන,
අලුත් තුරු වැල්
රටාවක් වෙමු
මගේ සෙවණේ
දිලිසි, දිලිසී