Sunday, December 25, 2016

ප්‍රථම ප්‍රේමය













හිරු නැඟුණු දහවලක
පැතුම් විකසිත කරන්
ඔබේ ආයාචනයකින්
ම සිත ඔබට පෙම් කළා

දවස් හෝරා ගත වුණා
ප්‍රථම පෙම විසිරුණා
දඩබ්බර වූ ඔබේ සිත
වෙන අතක පාවුණා

සඳ නැඟුණු මැදියමක
ඔබේ පෙම සිහිවුණා
අසරණ ව ම දෙස බැලූ
සඳ, තරුත් මා සමඟ වැලැපුණා...







Saturday, November 12, 2016

යෝජිත විවාහයක මධුසමය දා








ගව් සියයක් මෙපිට සිටිය ඔබ
ගම් සියයක් එපිට සිටිය මම
තල කොලයක ඇඳුනු
කොටු - කතිර - රාශි තුල සිරකොට
රාහු - කේතු - ගුරු - ශනිට සමකොට
නැකැත් ඇදුරෙකු පෑන් තුඩගින්
ලැබිනි අවසන් තීන්දුව අද

ඔබේ සිත ඔහු ළඟින් සිරකර
මගේ සිත ඇය වෙතට හිමිකර
ඇතිරු සුදු පිළි - යහන මතුපිට
හැරී දෙපසට - තුරුලු වී සීතලට
සුසුම් ගින්නෙන් දවයි කුටිය


රාත්‍රිය තරුණය
ඔබ මා මෙන් ම
උණුහුම්ය රුහිරු
ගලායන - නහර වැල් තුළ
පහන් පැය හෙට උදාවන
නොවන්නට අවමාන ඔබහට
දෙහිත් නොරටක
ගියත් දෙඅතක
සිරුරු උණුහුම් කළ යුතුය අද








Tuesday, November 8, 2016

සුන්දර රෑ







බැස ගිය සදම යළි හවසට පායාවී
නිසසල සස හදවත් ලග නවතීවී
ගහ කොල ගලන සද වතුරින් නාවාවී
හිතුන වලා යට මොහොතක් සැගවේවී

මා වවුලකුට ම0 සලකුණු තියාගෙන
කළුවර එබෙයි සද දිනිතිය සොයාගෙන
දහවල දැවුනු තැන් සිහිලෙන් තෙමාගෙන
සද මත හිනා වෙයි ඒ මුව පුරෝගෙන

පිරිමැද මිහිරි සිතිවිලි සද පතිත රැයේ
ඉගිලෙන පැතුම් කුමකට හිර කරමි ලයේ
පිපි කළුවරට තරු එළියක් එළිය තියේ
ලස්සන කවක් සගවමි සද ගිලුනු දියේ



Friday, November 4, 2016

කදුළකි ඔබ මට









සිහිනයකි ඔබ මට
රැයක පෙනෙනා තරුවක් වගේ
මොහොතක් සිතේ රැදී
සැණෙකින් මැකී යන

රළ පෙළකි ඔබ මට
ගතට සිසිලක් දෙන
වරක් ළං වි
සැනෙකින් ඈත් වී යන

මිරිඟුවකි ඔබ මට
සිතේ පවස නිවනා
වරක් ළංවූ විට
සැනෙකින් ඈත්වී යන

කඳුළින් සිත පිරී ඇත දැන්
දැන දැනත් තව මුලා වනු කිමද
සිතින් මගෙ සදහට
කමක් නෑ නුඹ දැන් ගියත් මා හැර





Sunday, October 16, 2016

සමුගතිමි








ගිලිහි අතින් තවකෙකුගේ සුරත ගැටී
යා යුතු නොවේ වරදක සිත බැදෙන හැටී
මතකය රිදුම් දෙන මැසිවිලි දෙතොල දිටී
අරලිය මලක් මියැදුනි ගස මුලම වැටී

බිඳුවක් පමණ සෙනෙහස හද තුළ නොවිනි
අරුතක් නොමැති කවියක් දෝ සැක සිතුණි
පමණ ද ඉක්මවා ආදරයක බැඳුණි
මතකයෙ රැඳෙන්නට ළෙන්ගතු කම නොදුනි

යන එන මග නොමඟ රැදිලා සිනාවෙන්
රවටනු එපා හදවත මා මුළාවෙන්
වෙහෙසත් දුකත් කවියක මුවාවෙන්
මම සමුගතිමි නුඹගෙන් ලද පමාවෙන්




Saturday, October 8, 2016

සුසුම්





සඳුන් සිසිලස සේ දැවටී
නෙත් කැලුම් මැවුණා
සුවහසක් පැතුමන් පුරා
දුකඳුරේ ගිලී තැවුණා

සිහිවෙයි නුඹ සිනා කැන්
ගෙනදෙයි සදා පැතුමන්
තවරා සුසුම් සුවරැල්
මනරම් ඔබේ රැඟුමන්

කඳුළැල් ගලයි නෙතගේ
රෑ තුන් යාමයේ
මිලිනයි පැතුම් අඹරේ
සහසක් සිතූ පැතුමන්




Tuesday, October 4, 2016

මල් විකුණන යුවතියගෙන්







පුදන්නට තරම් ඉඩක් නෑ
මලක් ම සමිඳුට
මිලක් ගෙන කෙනකුට
මලක් විකුණන තරමට

පැලක් වුව නිවහන
සත් දෙනකුගේ සෙවණට
බතක් ඉදෙන්නේ හැම දින
මගේ මල් විකිණෙන තරමට

නොආවත් සමිඳුනි
ම ඔබ අබියසට
වරක් නොව දහස් වර
පුදමි හද මලින් බැතියන



Wednesday, September 21, 2016

අවිවාහක යෙහෙළියට






සිතාපන් හෙටක් ගැන යෙහෙළියේ
සුදු කෙසක් මතුවී කියන්නේ
කඩ ඉමක් අද්දර බවයි
අද හෙටම විසඳුම් සොයන්නයි

සොයුරි ඔබෙ කුල ගෙට ගිහින්
අයිය බින්නයි එපිට ගම්මානේ
කොයි කලක් මවු තනි රකින්න ද
ගනින් තීරණයක් ඉතින් වත්

ඔබේ පසුබැස්මෙන් හෙට උදාවන
රැකවරණ ගැන වග කියනු කවුරුන්
තනිව ආ මග තවත් ඇහැකිද
ඔබේ ඉරණම උඩයි අම්මා
නෙතු පියන්නේ සදා සැනසීමෙන්

දෛවයට කාලයට ඉඩ දී
තවත් නොසිටින් නිහඬ වී
අලුත් නෑදෑකම් සොයා
පිළිවෙළක් වෙනු
කැවුම් කිරිබත් අපට දී
හත් දා මගුල් කා





Thursday, August 18, 2016

ලොවුතුරු සුවය





සඳරැස් දහරින් 
ලොව නැහැවී
නිකිණියෙ සිරි දෙයි 
පොලෝ තලේ
ඝණ්ටා නාදේ 
දෙසවන රැව්දේ
බැතිබර සිත් 
ඒ දෙසට නැවේ

අරලිය මල් දෝත දරා
සමිඳු පුදන්නට 
හද සැරසෙයි
බොදු බැති ගී සර
හද පුදසුන මැද 
බවුන් වඩයි

දැල්වූ පහනින් 
මොහ’ඳුර දුරුවී
සදහම් දහරින් 
ලොව නැහැවේවා!
බණ පදයෙන් 
දුක් ගින්න නිමාවී
ලොව්තුරු සුවයෙන් 
සිත සැනසේවා!




Sunday, July 17, 2016

එක පන්ති­යද?






බංඩාරෙ මත­කයි ද ඉස්කෝලෙ අපි දෙන්නා
මම ඉදිරි පේළියේ උඹ හිටියෙ පිටි­පස්සෙ
ඇඟිලි නිය­පොතු කොණ්ඩෙ සීරු­වට පිළි­වෙ­ළට
හැම­දාම මට තරුව ‍උඹට තඩි බින්දු­වකි

ෆිෂ් රෝල්, එග් බනිස් මගෙ කෑම පෙට්ටියේ
මොකුත් නෑ ඉඳ හිටක ගෙනාවේ උඹ බතල
හරි මිසක් වැරැදි නැති එකම තනි­රූල් පොත
කිලුටු මුත් තිබුණෙ තරු බින්දු ආවේ මෙමට

අදත් මම ඇවි­දිල්ල චැනල් පෝලිමේ මුල
ඉන්න­කොට උඹ ඇවිත් පිරුණු දිස්නය අරන්
උගුර, කන, නාසය විශේ­ෂඥ උඹද
කියා­පන් බංඩාරෙ ඇත්ත­ටම මේ උඹද?

පිටත දිස්නය සොයා එකතු කළ වැඩි ලකුණු
උඹ කිලුටු ළඟ ලැබුණෙ අදත් මට බින්දු­වකි
උගුර, කන, නාසය මගෙ වැසුණු ඇස්වල දෝසේ
බලා­පන් හොයා­ගන හද­න්නට දැන්වත්...




ශ්‍යාමලී වසන්තා සුබ­සිංහ

Friday, June 24, 2016

රස






ගැහැනු සිරුරක සුවයෙහි
කය සතපවන මිනිසුන්
ඇහැරවා ගත්තත්
සිත්විලේ නොපිපුණ
තුටු මල් කැකුළු නෙක

එළු කුකුළු සූකර
සතුනගේ පණ කෙඳි
මිහිතලෙන් චුතකොට
සදා රසමසවුළු
පිනවමින් රසදිව
ඇතැම් පුහුදුන් දන
සිත් ගඟේ තුටු රැලිසර
නැගූවත් කොපමණ

මදුවිතක් තොලගා
පියෙවි ලෝකෙන් බැහැර ව
ඇන්දත් සතුටු සිත්තම්
මැකී බොඳ වී යන
මතට ලොල්වුණ දන

නොවිඳිති කිසි දිනක
ජීවන යථාර්ථය
සඟවා වසන්කරගත්
සනාතන දහමක රස




Tuesday, June 21, 2016

කාළයේ අවකාශය





තුන් යම ගතවූ ජීවිතයේ
අරුනළු නැගේනා අභාතයේ
අහස ඉසවුවේ ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ

දැස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිර්‍රී නිදන වෙලේ
කවියක් සේ ඔබ හද තුල ගුලි වී
මා  හද  පිරි මැද පිරි මැද අවදි කලා

මැදියම අවදිව හැබහින් දුටු වෙමි
පෙරයම නින්දේ දුටු සිහිනේ
එහෙත් සිහිනයක් වේදෝ යලි ඒ
ජීවිතයේ අන්තිම යාමේ






Tuesday, April 12, 2016

එරබදු මල් පොකුරු ළඟ





කෙවිලිය සමඟ පැමිණුන
කොවුලා ඇටඹ ගහ උඩ
සවන් දෝතට විසි කළ
මියැසිය පරදවයි
මිහිරි ම මිහිරි මී රස

කිරිගහ උඩින් මතුවුණ
පෙරදින රැයේ බක්සඳ
රුක්ගස් පුරා ඇති රුව
කිරණ අමතක කොට ගොස්
නව සෙඳරියක් හැමතැන

අලුත් වතුරෙන් උතුරන
ඇළ දොළ ගඟුල් වට කොට
අලුත් දලුසළු ඇඳ
මල් පල බරණ පලඳා
තුරු ගොමු පවා තුටු වෙයි

මිහිරි පල වළඳා
විහඟුන් කියන රසකවි
බක්මහ අසිරි සිරි ගැන
මල්වල ලියති බිඟු කැල
ළාහිරු කිරණ දුවවිත්
පිනි පිස දමන උදයෙ ම
මගෙ සිත නතර වෙයි
එරබදු මල් පොකුරු ළඟ





Monday, April 11, 2016

අවුරුදු ආවා...





කොහෝ තුටින් ගීත ගයන
තුරුලිය මල් වලින් පිරෙන
නැවුම් හැඟුම් දෝරෙ ගලන
අවුරුදු ආවා...
සියොතුන් රස ගීත ගයන
ගේ දොර හැම කල එළිවන
නැවුම් හැඟුම් දෝරෙ ගලන
අවුරුදු ආවා...
ගොයම් කපා ගෙට ගෙනෙන්න
අලුත් සහල් බත් උයන්න
ඔන්චිලි වාරම් කියන්න
අවුරුදු ආවා...
අලුත් වළං ගෙට ගෙනෙන්න
අලුත් ඇඳුම් හැඩ බලන්න
කැවිලි පෙවිලි රස බලන්න
අවුරුදු ආවා...
රබන් සුරල් හඬ අහන්න
හෙළ කෙළි සෙල්ලම් කරන්න
හැමෝම එකමුතු කරන්න
අවුරුදු ආවා...
සුමනසිරිට - සරෝජාට
සතුටින් අවුරුදු කන්නට
සාමය, සමගිය අරගෙන
අවුරුදු ආවා




Tuesday, April 5, 2016

දෑවැදි නැති කෙල්ලකගේ කවිය






කඳුළු මිල කළ හැකි නම්
බෝ පෝසත් ය අද මම්
තැවුල් විකිණිය හැකි නම්
සත් මහල් මත හිඳිමි අද මම්

සිනා සල්පිල් ඇති කළ
කවුරු ගොඩවෙද කනස්සලු පිල
සතුටු විදුලිය බල බල
කවුරු තපිතිද තැවුල් ගිනි මැල

ඇතිරිලි මත සුමට
නිදන සිහිනය දකින දනහට
ඇවිටිලි කොට කුමට
අකමැතිය ගොඩවෙන්න පැදුරට

දෑවැදි පහුරු පිට
නැග දන ඇදෙති එගොඩට
මට මිල නැති කලට
කවුරු කරති ද මෙමා එගොඩට


Saturday, April 2, 2016

වෑයම





සඳක් වී මා එන්න
සැරසුණා ඔබෙ ලොවට
එහෙත් එය අමාවක
රැයක් විය සඳ නො එන

තරුවක් ව දිලිසෙන්න
තැතනුවෙමි දුරින් හිඳ
තරු නිවා සඳ නැඟි
බැබළුණිය මුළු රැය ම

පියුමක් ව පිබිදුණෙමි
සරසන්න නිල විල
දිය සිඳී විල් මැකිණ
ගිම්හාන හිරු පැමිණ

දිය බිඳක් වී ආමි
විල් නෙළුම පුබුදන්න
නොතරම් ය දියබිඳු ව
වැසි වැටී පිරි විලට

හැමූවෙමි සුළඟක් ව
ගිම් නිවා සනසන්න
ඉරී සළු වලා පෙළ
දැවුණි හිරු උණුසුම් ව

සුසුමක් ව ගැවසුණෙමි
තැවුණු හද සතපන්න
තැවුල් ඉපදෙනු කෙලෙස
හදවතක් නොමැති කල

Wednesday, March 23, 2016

නුඹ නැතිව







පොද වැස්ස වැටෙනකොට
සේපාලිකා මල් නාවලා
ඔබ නැතුව මම හිඳිමි
මිටියාවතේ තනි වෙලා

තුරු හිස ම පුරෝගෙන
මල් වලින් හැඩවෙලා
හෙන්දිරික්කා පඳුර
මග බලයි නුඹ එයි කියා

නුඹ නොයෙන බව නොදැන
හැන්දෑව නැවතිලා
රෑ වෙන්න ඉඩනොදී
බලයි නුඹ එයි කියා






Monday, March 14, 2016

ඉරණම






අහසක් තරම් සිතුවිලි ඇය රැක ගන්නේ
දහසක් කම් කටුලු දිවියේ පුරවන්නේ
පහසක් නොලැබ මුත් දිවිමග ගතවන්නේ
පෙරදා මෙසේ ඇය යහපත් ලිය වන්නේ

මුව ඉඟි මරා ළෙන්ගතු කම් පෙන්වන්නේ
තනිකම වසා ආදර බස් තෙපලන්නේ
මල නොතලද බඹරුන් රොන් ගන්නේ
මින්සුනි ඇයිද වරදට ඇය පොලඹන්නේ

වල්මත් වූ සිතයි ඉතිරිය කර ගන්නේ
සිල්වත් අයමදැයි ඕ හට ගරහන්නේ
තැන්පත් වී කෙසේ උන් තැනටම යන්නේ
දුක්ගිනි දවා ඇය මිහි පිට වලලන්නේ



Saturday, February 27, 2016

තාප්පයක, දුක හිතෙන කතාවක්




මල් වැටුණ
ඉරි වැටුණ
පාට පාට
නෙක විසිතුරු ඇඳුම්
මාරුවෙයි
දිනකට හත් අට වතාවක්
ඇනකොටා ගනිමින්
එකිනෙකා
වසාලයි මගේ විළි
විටෙක එළු, ගව යහළු
සිපගතියි මගේ වත
ඇති ව තෙත් සිත
පාලු රාත්‍රියේ
බිඳලමින් මගේ විළි
ඒත් අලුයම වසාලනු ඇත
මගේ ගත
අලුත් ඇඳුම් වලින්


Tuesday, February 23, 2016

දැහැමි ජීවිතය හා ආගම-නිසදැස්,





උපන්දා සිට කරපු අකුසල්
දුරුව යන්නට මොහොතකින්...
තුන්සිය හැටපස් දොහකින්
එක් දිනක්...
දැහැන් ගත වමු
..

පුන්සඳ පිපී දිලෙද්දී
නිසංසල අහස්තලේ....
රන්වන් බෝපත් සිලි සිලි නාදෙන්
සෙලවන මොහොතක
සිතකට දැනුනයි
සහන් සුවේ...

දුරුකතරේ මංමුලා වී
යන මේ ගමනේ
නැවතුම කොතැනද
නොදන්න අපහට
වදාළ බුදුමඟ කියාපාන
ජීවමාන බුදු පුතුනේ


සිතගත සිසිලයි
සුමුදුයි සරලයි
දිවියට මාගේ...
වැටහෙයි හේතුව
තුන්සිත දමනය කළ
එක් මොහොතක....

සත්‍ය වැටහී
යන මඟ හෙළිවී
ඇත සසරේ...
දොහොත් මුදුන් දී
බැතිබර මනසින්
එකුන් සියක් නොව, සියක් වරක්
දැහැන් වදිමි මම...



Sunday, February 21, 2016

යෙහෙළියට ඔවදනක්



 

කඳුළු ගීතයකට
තනුවක් නොවී නුඹ
සෙනෙහෙබර කවි පෙළක
පදවැලක් වුව මැනව
කළුවර වූ විජිතයක
අමාවක නොවී නුඹ
සොඳුරු මඟ දිදුලවන
සරා සඳ වුව මැනව
සුවිසල් මන්දිරයක
සෙව්වන්දියක නොවී නුඹ
පුංචි නිවහනකට
සිතුමිණි පහනක් වුව මැනව
මිරිඟුවට ලුහුබඳින
මුවැත්තියක නොවී නුඹ
ගුණ නුවණ දියුණු කළ
නැණ පහන වුව මැනව....




Thursday, February 18, 2016

පලා යෑම







කිරි ළමැදෙ හිස රදා
සුව වින්ද දියණියේ
කිරි වැරුව දා දෙතනේ
සිත තැළුව දියණියේ

තන කිරෙන් බරවෙලා හිත පැතුම් පූරෝගන
මං පැතුවෙ නුඹවමයි කිසිත් නොව ජීවිතයෙ
මහ අසනි වරුසාවේ ඇස් දෙකේ සීතලට
නුඹ උපන්නේ මටයි මලක් වී මගෙ හිතට

පෙළින් පෙළ ගෙවල් පෙළේ
රැලින් රැල ළමයි රැලේ
කටු අකුලෙ මලක් වී
පිපුණ නුඹ සුවඳ දුනි...

මල්වරව යෞවනය සිනාසුණ හිමිදිරියේ
මවු සෙනේ අඩු වුණිද වසන්තයෙ ඔය හිතට
රන් පාට සමනල්ළු දැක සිනාසුණ දෑසේ
මල් සුවඳ ගෙන ගියේ කොහිද නුඹ දුර ඈත

ගංගාව හඬ නඟා ගලද්දි නිම්නයේ
නුඹට එය ඇසුණිදෝ ගීතයක් වී මියුරු
උලලේන් හඬ හිතේ බිය රදවද්දි
නුඹට එය පෙම් කවක් වූවාද...?

පන් පැදුර චීත්තය සුවඳ නුඹෙ සොරාගෙන
ගන්න හැකි වේවිදෝ මට ද ඉන් ටිකක්
දෑස සේ රැකි නුඹයි අහස සේ හැඬු මමයි
ජීවිතේ තනිකමයි - මට උරුම හිමිකමයි




Wednesday, February 17, 2016

පරලොවට පෙම්පතක්


                                                               




                                                               මා මෙලොව තනිකර
අවුරුදු ගණනකට පෙර
පරලොව ගිය දයාබර
මගේ අනුලා වෙතට ය

මම 56 වන
විය ගෙවමින් සිටිමි දැන්
එනමුත් ඔහි එන ලකුණු
තවමත් පහළ වී නැත

අපේ ඒ කාලය
සමඟ සසඳා දක්වමි
දැන් මේ කාලයේ මෙහි
ඇති යම් යම් වෙනස්කම්

තරුණන් තරුණියන්
අතර පෙම්පත් ගනුදෙනු
කෙරුණු ඒ කාලයෙහිදි
රස පෙම්කවි ලියැවුණා

ලේඛන කලාවට
හා කවි කලාවට ඉන්
නැඹුරුවක් ඒ කාලේ
ලැබුණා නේද අපටත්?

දැන් අතේ ගෙනයන
දුරකථන පැතිරී ඇත
පෙම්කවි සහිත පෙම්පත්
එ නිසා වුවමනා නැත

යම්කිසි හානියක්
කවි කලාවට මෙ මඟින්
සිදුවී තිබෙනා බවක්
බැලු බැල්මට පෙනුණත්

ජංගම දුරකථන
පෙම් සංවාද ඔස්සේ
සිරි හර රස කවි දහර
ගලා යනවා විය හැක

නව තාක්ෂණයේ
දියුණුව එසේ තිබියදී
මේ පෙම් හසුන ලියුවේ
මා ඉස්සර පුරුද්දට

දැන් මේ පෙම් හසුන
මෙසේ එව්වේ වී මුත්
අපිත් කතා කර ගනිමු
ජංගම දුරකථනයෙන්

අපෙ ඒ සංවාද
තැටිගත කරගත හැකියි
නිෂ්පාදනය කළ හැක
එ මඟින් සාහිත්‍ය රස

මෙතෙකින් මේ ලියුම
දැනට අවසන් කරනෙමි
තව බොහෝ දේ කිව හැක
මා ඔහි සැපැත්වූ පසු



Friday, February 12, 2016

පෙම්පත






තුරු සෙවණ යට ඉඳන්
හුදෙකලා වී මෙසේ
කියවන්නේ “පැවරුමක්”
වෙන්න බෑ දියණියේ...

මල් සුවඳ රැගෙන එන
නිල් ගුවනේ සැරිසරන
පාට සරුංගලයක් වගේ
මුතු අකුරු ඇඳි පෙම්පතක් - දෝ
දියණියේ...?

සමාවුව මැනවි මට
දිසාපාමොක් ඇදුරු තුමනේ
සත් වසරකට පසු
වැලිකතර හැරදා
මගේ මුව සිපගන්න
අම්මා එනවා ගම... රට...
කියා තිබෙනවා
මගේ මේ පෙම්පතේ...!




Tuesday, February 9, 2016

සෝක ගී







මීදුම් පටල වලා සේලය
නිරුවත්ව ඇත සද ගාව
පාළු රෑ යහන ලග
අඩ නින්දෙ සරදම්ව
අඩහෝරාවක
අතීතේ මතකයන්
හිත ගාව තුරුල්වම ඉකිබිදින සද
නිකලැල්වූ සුදුම සුදු පාටින් බැබලුන පට රෙද්ද 
මිලින කලේ කෙලෙසකද
බැදි හාදකම
මියුරු කවි කියා
ගෙව්න මහ රෑක
හිතාගන්නත් බැරි තරම්
සෝක ගී ඇසේවිය කියා
හීනෙකින්වත් නොහිතු එක 
මා කල වරදද??
........................




Saturday, February 6, 2016

සනාතන පාඩමක්







‘අ’ යන්නෙන් අම්මා
‘ආ’ යනු ව ආදරය
දුක සතුට හොඳ නොහොඳ
සොයා දී මඟ නොමඟ
විසල් වූ ලෝකයක්
තනා දුන්නා අපට!



රන් සීනු පරදවන
ඔබේ නැළවිලි හඬින්
අප මෙන්ම දරුවන් ද
සැනසුවා පෙර දිනෙක



දයා මුදු කරුණාව
හදවතේ පුරෝගෙන
ජීවිතේ ජය ගන්න
දිරිය දුන්නා නිබඳ

ශිල්ප දුන් දූ පුතුන්
ගිලන් ඇඳ වට කරන්
දෙන ඔසුද හෙදකම් ද
ඉවසමින් මුනිවතින්
සසර ගැන පාඩමක්
කියා දෙයි මවු යළිත්!