Monday, November 30, 2015

.ගුරු පාරට කොන්ක්‍රීට් දාලා....



ඉස්සරම චුටි කාලේ 
මං හරි ආසයි 
වහිද්දි මගේ කාමරේ ජනේලෙන් 
ගුරු පාර දිහා බලන් ඉන්න 
මං හරි ආසයි 

අහසේ ඉදන් බිම වැටෙන 
වතුර බින්දු ගොඩාක් එකට එකතු වෙලා
ගුරු පාරේ පාටත් අරන් 
බොර පාටට පාර දෙපැත්තේ තරගෙට
සද්දෙන් බැහැල පහල ආරට 
අපිළිවෙලට යනවා බලන්න

වැස්ස පටන් ගද්දි 
දුවිලි වලට වතුර වැටෙද්දී එන
ඒ පුසුඹටත් මං මාර ආසයි 
ඒ සුවඳ විදගන්න
ඉහලට ගත්ත හුස්ම පහල දාන්න
මං ලෝබයි

ජනේලේ ලගට වෙලා 
එදා ඒ විදගත්ත ලස්සන මට
දැන් වැස්ස වෙලාව
ට ජනේලේ ලගදි හිස් බවක්
කෘතීම ගතියක් හැරුණු කොට
පෙර දා විදගත් ඒ සුවය,

හිතේ තිබ්බ ඒ හැගීම
දැනෙන්නේ නෑ
ඒ විදගත් දුවිලි සුවඳ
දැනෙන්නේ නෑ 
ඒවා කොහේ දැනෙන්නද 
දැන් ගුරු පාරට කොන්ක්‍රීට් දාලා....







Sunday, November 29, 2015

මගේ සුසුම



දෙනෙත තැවරුණ විඩා සිඳිනට
පුංචි සුසුමක් මගෙන් නුඹහට
ළඟට වී අතැඟිලි සිඹින්නට
ඉඩක් නැති දින සුසුම ගනු මැන

නේක හැඩ ඇති සුසුම් ළඟ ඇත
ලෝකයෙන් නිති මුවා කළ හැකි
නුඹ නමින් ඇති සුසුම් පමණක්
රහසේම සිත දෙකඩ කරවන

ජීවිතේ බර දරා වෙහෙසව
සිත් සතන් හිරිවැටුණ මොහොතක
දුරක සිට මා එවන සුසුමක්
නුඹට නිතරම තනි රකිනු ඇත

Tuesday, November 24, 2015

සිතුවම් දකින්නෙමි






සදාතන වස්සානයක් මැද 
සීතලෙන් උණුසුමක් සෙව්වෙමි 
දෙකොපුලෙහි කඳුලැලිත් මිදුනත් 
වැසූ දෙනෙතින් හිරු දකින්නෙමි

දෙනෙත කඳුලැලි ඉතිරි වී නැත 
කඳුළු සාගරයක් හෙලූවෙමි 
දිවියේ සුවිසල් පතන් බිම් මැද
තවම සෙවනක් සොයා යන්නෙමි

සුළං අතටම ගසාගෙන ගිය 
අතීතයේ සිතුවම් දකින්නෙමි 
සිසිරයේ රුදු කුණාටුව මැද 
මඟ හැරුණු මල් පියලි ඇහිඳිමි




Monday, November 23, 2015

මතකයේ සැරසිලි



සුසුමේ වෙලි වෙලි 
දඟ පා සැලි සැලි 
මතකයේ සැරසිලි 
කිම මේ කැළඹිලි 

සිහිනෙක පැටලිලි
කඳුලක රිදවිලි
හසරැළි සිලි සිලි 
සිත ළඟ නැවතිලි 

දිවියේ ලතැවිලි
කඳුළුද සැනසිලි 
ගෙන එයි යළි යළි 
මතකයේ සැරසිලි




Sunday, November 22, 2015

හිරු..සඳු



රැයක් පිපෙයි මට
නුඹ හිරු ළඟ තව
සුසුමක් සඳු අත
කෙසේ එවන්නද?

ලෝකය නවතින
හිරු සඳු සැඟවෙන
දිනයක් එයි මතු..
පැතුම් පතන්නද?


පවනක්ව දැවටෙන්න 
සිත තනිය දුරලන්න 
ගීයක්ව මිමිනෙන්න 
රහසින්ම ළඟ ඉන්න 

නෙතු දෑලේ තනිවෙන්න 
වරම් නැත ලංවෙන්න 
දිදුල දෙන සඳ වැන්න
දුරින් ඉඳ හිනැහෙන්න





Saturday, November 21, 2015

විමුක්තිය එරෙහි කුටුම්භය (නිසදැස්)



“සම්මානි ජාතෝ බන්ධනං ජාතං“

















සම්මානි ජයේගෙ ගාව ගුලි වෙලා

ජයේ තද නින්දෙ ගොරවලා
පයක් එළියේ පයක් ඇතුලේ
දෙගිඩියාවකි,




ඇදුම් මැදලා දෙන්නෙ කවුරැද
කෙල්ල බලාගන්නෙ කවුරැද
බතක් උයලා දෙන්නෙ කවුරැද
මම නම් විකාල භෝජනා
දෙගිඩියාවකි,



අප්පච්චි නාවන්නෙ කවුරැද

අම්මගේ ලෙඩ දුකට කවුරැද
ජයේගෙ ඉන්හේලරේ දෙන්නෙ කවුරැද
දුක්ඛ සත්‍ය දන්නවා මම නම්
දෙගිඩියාවකි,




ඉරැණු ඇදුමක අන්ඩ දාන්නෙ කවුරැද
පොඩි එකීට ඇදුම් මහන්නෙ කවුරැද
පඩු පාට කසාවත ඇති මට නම්

 විමුක්තිය හොයන්න සංසාරෙ තිබුණාවෙ
මේ බවේ ඔන්න ඔහෙ ගෙවුණාවෙ

ආරාමෙ ඝන්ඨාරෙ ඇහෙනවා ඈතින්,
ජයේ ලග ඇලවුණා ආයෙත්







Thursday, November 19, 2015

බිම් මල ( නිසදැස්, )





පිපී ඇත
සුදු පාටට
එක ම එක මලක්
මහපොළොවෙ තෙත පපුව මත


බුදු පාමුල වැඳවැටී
ප්‍රජාපතිය සේ
අරහත් වෙන්ට
නුඹ නෙළාගෙන යන්නේ නැතුවා ද
කවුරුත් ම දෙව්රමට.


ඉගිළී ඇවිත් සමනළයෙක්
මුව මඩල ඉඹ බැලුවේ නැතුවා ද
සාලිය සේ ආදරයෙන්


හැමෝටම අමතක
කුරාකුහුඹීන්ට
අව්වට
වැස්සට
මුතුකුඩය ඉහලුවේ නුඹය
සාස්තෲවරයෙකු සේ
එකපයින්


එක වේලක
තලුමරන ව්‍යන්ජනයකට
බෑ නොකියා ම
දිවි පුදන්නේ නුඹය
මැද්දුම බණ්ඩාර සේ
එඩිතර ව







Wednesday, November 18, 2015

වැහි බිංදු





දුර ගෙවා අහස පිස
වැටෙන හැම වැහි බිඳක්
මලක් මත වැටෙන්නට
පෙරුම් පුරනවා ඇතිද?

අහස දෙස පෙති විදා
සිනාසෙන හැම මලක්
වැහි බිංදු ලබන්නට
පෙරුම් පුරනවා ඇතිද



Monday, November 16, 2015

හැඬූ කඳුළුත් පිසලන


ඉඳහිටක හඬවන
හැඬූ කඳුළුත් පිසලන
සිනහ මල් පළඳන
සුසුම් පිඹ යළි විසුරණ

හදවතේ සිව් කොන
ඇවිද මුල්ගල් සිටුවන
කටු ඇනුණු තැන් දැන
හෙමින් මල් පොඩි පුබුදන

ඇඟිලි තුඩු සිපගෙන
කවි බිඳිති පැළකර යන
නොකියනා වදනින
කතා දහසක් මුමුණන

ආදරෙයි නොකියන
හිතේ මැද උණුහුම් වෙන
පෙර පුරුදු සුවඳින
දිවිය පුරවා සැඟවෙන

Saturday, November 14, 2015

හීනයක් වී එන්න.



සිතා සිටියෙමි
නුඹ ඇවිත්
සිතේ හිස්තැන්
පෙන්වන තුරු...

නුඹම
ඒ හිස්තැන් පුරවා
අලුත් හිස්තැන් මවා
ඈතක සිට
සිනාසෙන'යුරු

ඉතින් මට කියනවද
මට අයිති හිතේ ඉඩ?
පුංචි මල් ගහක්වත්
හිටවන්න පුළුවන්ද?

මල් පිපෙන්නට නැතත්
මුල් අදින්නට හැකිද?
තද සුළං කෝඩේකට
ඉදිරිලා නොවැටෙයිද?

කඳුළු දිය හිඟ නැහැනේ
ඉක්මනට දළුලයිද?
ලකුණු කර තියනවද
මට අයිති හිතේ ඉඩ?

රැයේ තුන්යම පුරා
නිදි නොමැති නෙතු අරා
සඳ කිනිති සල සලා
සඳ එළිය නුඹ වෙලා ...

ඉතින් මට නිදියන්න
සඳ පහන හකුලන්න
නුඹේ වුවන දැකගන්න
හීනයක් වී එන්න...










Friday, November 13, 2015

සොයමි



පවන් රැල්ලක එතී
දඟ කරන් පාව යන
වරා මල් පියල්ලක
මගේ හදවත තබමි


හිස් අහස් කුස පුරා
දස අතම සැරි සරා
තුරු ලපළු මුදුන් වල
ගිමන් හරිමින් හිඳිමි


මගේ හදට හුරු සුවඳ
තව වරා මලක්‌ ළඟ
පෙති අතර සැතපිලා
සන්හිඳක් නිති සොයමි


කඳුළු බිඳු සිය දහක්
ලැගුම් ගත් සයුර ළඟ
මේ කඳුළු බර හෙලන
සිහිනයක් දකින්නැති






Wednesday, November 11, 2015

යළි උපන්




මුල් ඇද්ද දා සිට

ආකහෙන් ලද දිය මිස

සෙනෙහසක් නොලැබූ බව

සාක්කිය ඉරිතැලි කඳ





අව්‍ වැසි සුළං හඳුනන

අකුණු සර ළඟ නොසැලෙන

ඍතුවෙන් ඍතුව ගතවෙන

දුර බලා නිති ඉවසන


රළු පරළු අතු අග

කිසිම දා මල් නොපිපුණ

බඹර ගුමුවක් නොඇසුන

තනිකමක් හා තනිවුණ



හිස තියා මුල් රැස මැද

බදා පහුරින් රළු කඳ

ලතාවක මිමිනුම් හඬ

ඇසුණි පැටලී සිහිනෙක




අහම්බෙන් මේ මඟ

ගියොත් නෙත රැවටෙනු ඇත

ලියවැළක සෙනෙහස මැද

මල් රැසක් දිලිසුණා තුරු හිස




පතුල නැති හීනයක කිමිදෙන

ගැලූ කඳුලින් මාල ගොතමින

සතුට දෝතකට රැගෙන හිනැහෙන

පය පැකිලී විට සෙමෙන් නැගිටින

Tuesday, November 10, 2015

සතුට නුබ කොහෙද?


රැයේ සිට නිදි වරා
ටිකෙන් ටික අමුණලා
වචන ටික ගලපලා
ගෙත්තමක් මන් කලා

උදේ සිට මග බලා 
සිටියෙ නුඹ එනතුරා
උඹේ මුව මට කියන
දහස් දේ අසනටා

ආදරය විදිමි මම
මහ මෙරක් සේ ඔබෙන්
නුමුදු කල්පිත දෙයක්
ගැලපුවෙමි මම මෙසේ

ඔබ ආවොතින් හෙට
හමු වන්න ම හනික
දහක් දේ මටද ඇත
පවසන්න ල0වෙලා

Monday, November 9, 2015

කුමරියක පා සලඹ ලබනට



දෙතොල හරහා

ඇඟිලි තුඩගින්

අඳිමි මතකෙන් සිනහ සලකුණු

දෙනෙත ගැඹරෙහි

කිමිද මොහොතක්

සොයා යන්නෙමි මතක විසිතුරු

අවුල් කෙහෙරැළි

අතර පැටලී

සුළං රැළි වෙමි සිඹින නිරතුරු

රුවක නතරව

අතරමං වෙමි

සිහිනයක් වී හෙටත් එනතුරු

බිඳෙන් බිඳ නුඹ ගෙනත්

මගේ හිතට ගොඩගහන

මේ සිනා ළවැලි ගෙන 

මාළිගා තනමි මම 

සයුරු තෙර කළඹමින්

රුදුරු රළ නැඟෙන ඉම

නොතනන්න මාළිගා

උගෙනගමි ඉතින් මම 

දඩබ්බර දෙනෙතෙහි







නුඹේ රළු කොපුලත


තවරන මගේ සුසුමක


දැනේවිද මන්දා... 

පැතුම් සහසක කැබලිති 





දඩබ්බර දෙනෙතෙහි 


අතරමං වුණු මොහොතක

පෙනේවිද මන්දා... 

හීන දහසක අරුණැලි





නුඹට මොහොතක්


රහසෙන් එන්නම්


හිත් ඉම පියමැන

සිනහ බිඳක්  නුඹේ දෝතට අරන්





මගේ ලොවෙන් 

මොහොතක් සොරකම් කර


නුඹ වෙනුවෙන් 

ලෝකයක් තනන්නම්





කඳුලකට තනිරකි

පරවුණු හිතක්


නුඹ පමනමයි පිලිසරන

දැන දැන ඇයි පමාවක්

එන්න නවතින්න මොහොතකට

කල්පයක් සේ දැනෙන්නට